වසර දෙකකට පසුව යුද ජය සැමරුම

Tuesday, 8 May 2012

මේ තරම් අපරාධ රැල්ලක්‌ අධ්‍යාත්මික පරිහානිය නිසාද?


මහ සඟරුවන පවා සිත්පිත් නැති ලෙස ඝාතනය වන යුගයක්‌ තුළ අපි ජීවත් වෙමු. එවැන්නක්‌ කෝට්‌ටේ නාමය කිළිටු කරමින් පසුගියදා සිදුවිය. මෙය කෙතරම් ශෝචනීය ද? මන්ද මේ විසිහතර පැයේම බණ කියන හා බණ අසන යුගයක්‌ වීමත් බෝ පැළයක්‌ ඇති හංදියක්‌ පාසා බුදු පිළිම ඉදි කරන රටක්‌ වීමත් දේශකීර්තිලා, දේශබන්දුලා පඳුරක්‌ පඳුරක්‌ පාහේ සිටින දේශයක්‌ වීමත් නිසාය. මිලියන බිලියන ගණන් ගිල දමන භෞතික වෙනස්‌කම් දිනෙන් දින ආකර්ෂණීය ලෙස සිදුවෙමින් පැවතියද කරවිල ගෙඩියේ උපන් පණුවා එයම කා විනාශ කරමින්, මතුපිට හැඩය පමණක්‌ ඉතිරි කරමින් සිටින්නා සේ විනාශකාරී ක්‍රියා කරන්නෝ මුලුමහත් සමාජ දේහයම ගිලන් ගත කරමින් සිටිති. පුවත්පත් පාන්දරක කියවන්ට නොහැකි තරමට අපරාධ වාර්තා කරනු ලැබේ. එදා පත්තරයක නැවුම් සුවඳට වඩා අද අපට දැනෙන්නේ ලේ සුවඳය. පත්තර කියවද්දී අතත් සිතත් වෙවුලන්නේ නිරායාසයෙනි. අපරාධ සිදුවීම, වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වීම, අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සිදුවෙතත් අපරාධ ප්‍රමාණාත්මක මර්දනය කරන්නට පහත හෙළන්නට ජාතික මට්‌ටමෙන් කිසියම් වැඩපිළිවෙළක්‌ සකස්‌ව නොතිබීම කනගාටුවට කරුණකි. මෙය සැබෑ වශයෙන්ම කම්පාවට කරුණකි. යහපත් මිනිසුන්, තරුණ තරුණියන්, කාන්තාවන්, මව්වරුන් පදනමක්‌ හා කිසිදු සාධාරණ හේතුවක්‌ නොමැතිව මරා දැමීම දැන් සාමාන්‍ය දෙයක්‌ බවට පත්ව තිබේ. මොන තරම් කොන්ක්‍රීට්‌ සංවර්ධනයක්‌ වුවත් අප මෙසේ මිනීමරුවන් වී නම් ඒ සංවර්ධනයෙන් ඇති ඵලය කිම? මේ සෑම අපරාධයක්‌ පිටුපසම අසික්‌සිත දේශපාලනය, පාතාලය යෑයි කියන පාදඩයන් ඇතැම් ආරක්‍ෂක අංශවල නියුතු වූවන් කප්පම්කරුවන් සිටින්නේ යෑයි කිවහොත් එය අසත්‍යයක්‌ නොවේ. කුඩා දරුවන් පැහැරගෙන ගොස්‌ කප්පම් ගැනීමට එම දරුවන්ගේ ලාබාල ඥාතීන් පවා ඉදිරිපත්ව සිටීම කෙතරම් අභාග්‍යක්‌ද? අවාසනාවන්තද? මේ අපරාධ රැල්ල තුළ මිනීමැරුම් පමණක්‌ නොව මත්ද්‍රව්‍ය, සොරකම්, මංකොල්ලකෑම්, දූෂණ සහ පළිගැනීම අඩංගුව පවතී. සුමධුර මධුර මනෝහර කර්ණ රසායන වචනවලින් විවිධ මාධ්‍ය හරහා ආකර්ෂණීය කතන්දර ඇසුනත් ඒවායින් සවන් සහ දෑස්‌ රවටන්නට බැරි තරමට තත්ත්වය බරපතළ වී තිබේ. බස්‌ රථයක යන්න බැරි තරමට දහජරා සිංදුය. බයිලාය. මේවා ගීත නම් නොවේ. කැසට්‌ හිංසාව ජනතාවට මහත් හිරිහැරයක්‌ වී ඇත. වෙළෙඳ දැන්වීම්වලින් නොපෙන්විය යුතු දේ පෙන්වමින් සමාජය තිරිසනුන් වෙසෙන කැලෑවකට ඇද දමා තිබේ. මැදියම වන්නට පෙරාතුව රූපවාහිනී ඇතැම් නාලිකාවලින් දොස්‌තරවරුන් එක්‌ව රමණයේ රමණීයත්වය එහි ක්‍රම සහ විධි කියාදෙන අවස්‌ථාත් සුලභය. මේ සියල්ල තුළම අල්ලස, දූෂණය, බලපුලුවන්කාරකම සහ ඇඟේ හයිය, නිලයේ සවිය රජ වී ඇත. යුක්‌තිය යටපත් වී ගොස්‌ය. එය එසේ වී ඇත්තේ ශක්‌තියෙනි. සංවර්ධනය වෙනුවෙන් සමාජයට වැය විය යුතු මිල කොමිස්‌ කාක්‌කන්ගේ සාක්‌කුවට වැටීම නිසා ප්‍රමිතිය දියවී ඒ සංවර්ධනය ඉරිතලා යයි. හැම එකෙකුගේම ඉනේ පිස්‌තෝලයක්‌ නැත්නම් පිහියකි. ප්‍රේමය පතා අහිංසක දැරියන් පාපතරයින් අතින් මැරුම් කති. කුලියට මිනීමරන්නන් අතින් පත්තුවන ඇතැම් ගිනි අවිවල අයිතිකරුවන් ආරක්‍ෂක අංශවල මහත්හොරුය. දෙවියනි මේ වෙන්න යන්නේ මොකක්‌ද? සමාජයට විෂ කවන මුද්‍රිත හා විද්යුත් මාධ්‍ය පැය විසි හතරෙන් සීල් කර, තහනමට ලක්‌කර සුදුසු යහපත් පුද්ගලයින්ට ඒ තැන්වල ඉඩ ප්‍රස්‌ථාව සරිකර දිය යුතුය. දූෂිත නිලධාරීන් සේම ඒවාට පසුබිම සැකසුවන් සොයා සියල්ල සුද්ද කර දැමිය යුතුය. කලාව යෑයි කියමින් සමාජයට හානි කරන සියලු දෑ එඩිතර, මැදිහත්, වැදගත් විනිසුරු මඩුල්ලක්‌ යොදවා සහමුලින් කපා ඉවත් කළ යුතුය. ප්‍රසිද්ධ නාලිකාවල නිරුවතින් නටන තරුණ කොල්ලන්ට සහ වයස්‌ගත නිළියනට ඇඳුම් ඇන්ද විය යුතුය. ආගම දහම, පන්සල, පල්ලි දේවස්‌ථාන උපරිම ලෙස සංවර්ධනය කළ යුතුය. ජනතාවට ඒ තුළත් යහපත කියා දිය යුතුය. පිළිවෙත් රකින වචනයෙන් නොව ක්‍රියාවෙන් කළ යුත්තක්‌ බව කියා දිය යුතුය. සැබෑ වශයෙන් සමස්‌ත සමාජය මේ අයුරින් විනාශය කරා යන්හේ ඇයි? විවෘත ආර්ථිකය නිසා ලැබුණු කුණු දහ ජරාවේ වැටී මිනිසා අධ්‍යාත්මය විනාශ කර ගැනීමද? නීතිවල ලිහිල් භාවයද? බල තණ්‌හාව ඉක්‌මවා යැමද? හරසුන් දේශපාලනයද? නාමිකව බෞද්ධයන් වූ බොහෝ අය පන්සල් යැමෙන් පමණක්‌ සෑහීමට පත්ව සිටිති. එයින් බුදු දහම රැකේ යෑයි ඔවුන් සිතනවා විය යුතුය. බහුතරය ආගම් විසින් දෙන උපදේශයනට එකඟ නැත. නොපිටටම යති. අයහපතේම ගැලෙති. තැනින් තැන බුදු පිළිම ඉදි කරමින්, මල් වට්‌ටි පූජා කර එයින් නිර්වාණයට පිවිසෙන්නට උත්සාහ දරති. පන්සලකට යන ගමනේදී වුව අවි සහිත රැකවලුන් අවශ්‍ය තරමට වෛරක්‌කාරයින් වර්ධනය වී ඇත. මිතුරුකම් සතුරුකම් බවට පත්ව තිබේ. වසුරු වලේ වැටුණු පණුවන් සේ කුණු වී ගිය දේශපාලන ගොහොරුවේ බලය තකා පොර වැටෙන්නෝ සිය බලය රැකගන්නට නොකරන පහත් වැඩක්‌ නැත. ජයක්‌ ලැබුවත් මේ පරාජයක්‌ බව උන් නොදනිති. ඇතැම් ටෙලිනාට්‍යවල ඇත්තේ පවුල් කඩාකප්පල් කරන, සාරධර්ම ගිලදමන, අසුනොවන්නට මිනීමරණ හැටි කියාදෙන පාඩම්ය. නොදන්නා අකටයුතු උගන්වන පාඨමාලා බඳු මේ ටෙලිනාට්‍ය විකුණන්නෝ මෙන්ම ඒවායේ රඟන මහා රංගවේදීන් සමාජයට කරන හානියට කවදා හෝ වන්දි ගෙවිය යුතුව තිබේ. කලාව තුළින් සමාජය මොනතරම් යහපත් කළ හැකිද? සමස්‌ත පාසල් පද්ධතිය හා විශ්වවිද්‍යාල පද්ධතිය විනය හා සීලාචාරකම රැකෙන ආයතන බවට පත් කළ හැකි සුදුස්‌සන් සොයා ගත යුතුය. තැබෑරුම් සංස්‌කෘතිය, මත්ද්‍රව්‍ය වෙළෙඳාම, ගණිකා මඩම්, රේස්‌ බුකි සම්බන්ධයෙන් දැඩි තීන්දු තීරණ ගත යුතුය. ස්‌ත්‍රී දූෂණවලට වසර ගණන් පල්වන නඩු නොව කඩිනම් දඬුවම් ලැබෙන පදනමකට යා යුතුය. අධ්‍යාත්මික සංවර්ධනය උදෙසා දැවැන්ත ජාතික වැඩපිළිවෙළකට යා යුතුය. එය අඛණ්‌ඩ වැඩපිළිවෙළක්‌ විය යුතුය. විශ්‍රාමිකව සිටින ප්‍රභූන්, වියතුන් හා බුද්ධිමතුන් මෙන්ම විද්වතුන්ගේ සේවය රටට ලබා ගත යුතුය. කඩිනමින් ගල්කටස්‌ තුවක්‌කුවේ සිට බරපතළම ගිනිඅවිය දක්‌වා අවි ගැන තතු සොයා ගන්නට ගිනි අවි සංගණනයක්‌ කළ යුතුය. හොර සුරා තහනම් කර අරක්‌කු සෑම වර්ගයකම මිල සියයට සියයක්‌ ඉහළ දමා දුම්වැටියක්‌ දැරිය නොහැකි මිලකට නැංවිය යුතුය. මේ තුළින් අපට මනා සමාජ පෙරළියක්‌ කළ නොහැකි මුත් දවසකට හෝ නිදහසේ හුස්‌ම පොදක්‌ ගන්නට අවකාශයක්‌ සැළසේ යෑයි සිතිය හැකිය. උපුටා ගනීමකි (දඹේගොඩ ජිනදාස)

No comments:

Post a Comment

Followers